Wednesday, December 7, 2011

ඔබගෙ අම්මද? නැත්නම්, ඔබගෙ බිරිඳද...?

කොහොමද ඉතින් යාළුවනේ...? ගොඩක් කාලෙකින් එන්න බැරි උනා... ජංජාලෙ කරක් ගහනකොට හම්බ උනා ලස්සන සින්දුවක්. අපෙ බයිලා චක්‍රවර්තී එම්.එස්.ප්‍රනාන්දු කළා ශූරීන්ගෙ ලස්සන සින්දුවක්. හොඳින් අහල බලන්න. ලොකු තේරුමක් මේකෙ තියෙනව... මෙන්න මෙතනින් බාගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම්. හදිසියෙ ආවෙ. ළඟදීම හොඳ පෝස්ට් ටිකක් අරන් එන්නම්... ජය... :)

ඔබගෙ අම්මද? නැත්නම්, ඔබගෙ බිරිඳද...?
ඔබ ආදරෙ මේ දෙදෙනගෙන් කාටද...?
ගෑණු අපිට සිය ගනන් සෙව්වැකි...
හැබැයි අම්ම කිව්වොත් එක්කෙනයි බොරු නැති...

අත් මිට කාසි පනම් ඇති විට...
එතකොට ගෑණුත් ඇති වට පිට...
එයල අත මිට නැති දා හැර යයි යන්නට...
නමුත් අම්ම එහෙම කරයිද තම පුතාට...
සමහර තරුණ, තරුණියන්ට රැවටිලා...
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා...
ගෑණු ඕනතරම් ලෝකෙ හරිම කරදරේ...
එක අම්මයි ඇත්තෙ අපට එයයි ආදරේ...

එදා චූල පදුම රජතුමාගෙ බිසවට...
පිපාසෙ උන කාන්තාරෙ යනකොට...
රජා උරේ පලළ ලේ දුන්නනෙ බොන්නට...
රජු එතරම් ආදරෙන් හිටියෙ බිසවට...
ඇය ආස හිතිල අත පය නැති කොරෙකුට...
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට...
තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට...
අම්ම එහෙම කරයිද තම පුතාට...

එදා රජතුම සහ බිසව කැලේ යනවිට....
වැදි කුමරෙක් කඩා පැන්න සටනට...
ඒ වැදි කුමරගෙ හැඩි දැඩි වූ සිරුරට...
ආස හිතුන රජතුමාගෙ බිසවට...
කඩුව ඇගෙන් රජතුම ඉල්ලූ විට...
කඩු කොපුව රජුට, කඩුව දුන්න වැද්දට...
අන්න ඒක නිසා නහින්න වුනා රජාට...
ළමයො අම්ම එහෙම කරයිද තම පුතාට...
ඔබෙ බිරිඳව ඔබේ ළඟට කැන්දා...
ඇගෙ වැරදි ඇතොත් කියල දෙන්න පහදා...
ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා...
මොකද ඔබෙ අම්මත් ගෑණු කෙනෙක් හන්දා...

සමහර තරුණ, තරුණියන්ට...

Friday, July 1, 2011

හදවතින් ඇවිදීම හෙවත් "තරණය" (Trail)


ගොඩක්ම කාලෙකින් මේ පැත්තට ගොඩවුනේ... හේතුව "බිසි" (හිකිස්). ඇත්තටම පහුගිය දවස් ටිකේ හරිම කාර්යබහුල වුනා. දැනුත් වෙනසක් නෑ. ඒත් අත්‍යාවශ්‍යම කාරණාවක් නිසයි ආවෙ.
ඔයාල දැනටමත් දන්නව ඇති "තරණය" ගැන. මේක ඇත්තටම පිළිකා රෝගීන් උදෙසා කෙරෙන්නා වූ මහත් සද් කාර්යයක්. බරපැන ඇමරිකන් ඩොලර් මිලියන දෙකක්. ඒ කියන්නෙ ආසන්න වශයෙන් රුපියල් කෝටි විස්සක්.
ඉතින් මේ වැඩේට ලංකාවෙ ප්‍රමුඛතම පෞද්ගලික සමාගම් එකාවන්ව නන් අයුරින් දායක වෙනව. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා දින 24ක් පාගමනින් තරණය කරන්නේ මේ සද් කාර්යය සංකේතවත් කිරීමක් වශයෙන්. ඉතින් මේ සඳහා ඔබටත් නන් අයුරින් දාය විය හැකියි. මේ පාගමන සඳහා දායක වන කැමති කෙනෙකුට ඔබට අනුග්‍රහය දැක්විය හැකියි. ඉතින් මමත් මේ සඳහා එක් දිනක් පාගමනින් යාමට බලාපොරොත්තු වෙනව. මගේ පිටුවට මෙතනින් යන්න. ඔබ කැමතිනම් මා හට අනුග්‍රහයක් දක්වන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඔයාල කැමති ඕනම කෙනෙකුට.
මුලු කතාවම මෙතනින් කියවන්න.
ඉතින් මම හිතන්නෙ මේකට සහභාගි වෙන්න ලැබීම මම ලබපු භාග්‍යක් කියල. මොකද කවදා, කොහොම අපි මැරෙයිද කියල කවුරුත් දන්නෙ නැති නිසා. අන්තිමට මැරෙනකොට අපි ගෙනියන දේකුත් නෑනෙ. "කළ හොඳ පමණකි ඉතිරි වෙතේ..."
ඔබට ජය

Wednesday, March 23, 2011

පච්ච සිරා...


හේ මට හමුවුනේ අහම්බයකිනි.
මොකක්දෝ වැඩකට ගම්පහ ගිය වෙලාවක ඉස්කෝලෙ හිටපු පරණ යාළුවෙක් ඉස්ටේසමේදි මුණගැහුන. ආගිය කතා කියවනගමන්ම යාළුව කීව විජේසිරියට යමු කියල. ඔය ගම්පහ කරක් ගහපු කවුරු හරි ඉන්නවනම් ඉතින් විජේසිරිය නොදන්නව වෙන්න බෑ. ඉතින් ඔය කඩේ පිටිපස්සෙ පොඩි කයියක් දාගෙන ඉන්නකොට ආව මෙතනට පොඩි උන් කස්ටියක්. පොඩි කීවට උන් ඇඟෙන් විතරයි පොඩි. කලිසම බාගෙට එල්ලගෙන, මුදු, මාල, කරාබු දාගෙන අමුතුම සෙට් එකක්.
ඉස්සර ඉතින් අපි ගම්පහ සෙට් ඇඳුරුවට දැන් අපිව කවුරුත් අඳුරන්නෙ නෑනෙ. ඒත් මේ සෙට් එක මගෙ යාළුව අඳුරනව. ඉතින් මගෙ යාළුව උන් එක්ක පොඩි කතාවකට වැටුන.
"ආ මල්ලි කොහොමද?" ඒ මගෙ යාළුව.
"දන්නෙ නැද්ද අයියා. ඔන්න ඔහෙ ආතල් එකේ ඉන්නව. අපිට ඉතින් සාතන්ගෙ පිහිට තමයි" ඔය අර මම කියපු "පොර"
ඉතින් මනුස්සයගෙ ස්වරූපෙ මම ටිකක් කියන්නම්. ඇත්තම කියනවනම් මිනිහගෙ ඇඟේ හිල් නැති තැනක් නෑ. ඇයි බැම, තොල්, කම්මුල්, කන්. ඔය හැම තැනකම "බොඩි පියර්සින්" කරල. තව රහස් තැන් වලත් තියෙනව කියල ඌ කිව්වෙ මගෙ යාලුව ඇහුවම.
ඒ මදිවට පච්ච... අතේ, පයේ, පිටේ හැම තැනම පච්ච. කැතත් නෑ. ඒ මදිවට බෙල්ලෙ තඩි කුරුසයක් අනිත් පැත්තට එල්ලගෙන. ඒක ටිකක් අස්වභාවික නිසා මගෙ යාළුව ඇහුව ඒ ගැන.
"අයියා මම ඇන්ටි ක්‍රිස්ට්"
"ඒ කියන්නෙ?"
"ඒ කියන්නෙ මේකනෙ බොස්. හැමෝම අදහන්නෙ දෙවියන් වහන්සේව. දෙවියන් වහන්සේ ඉතින් අපි ගැන බලන්නෙ නෑනෙ. ඉතින් අපේ දෙවියො සාතන්. අපි අදහන්නෙ එතුමන්ව..."


මගෙ ඇස් දෙක වගේම යාළුවගෙ ඇස් දෙකත් උඩ විසිවෙලා ආයෙත් උගෙ බෙල්ලෙ මාලෙට යොමුවෙනව මම දැක්ක.
"මචන් මම යනව එහෙනම්. ට්‍රේන් එකටත් වෙලාව හරිනෙ" මම කිව්වෙ මාරු වෙන්න බලාගෙන.
"බොස් යනවද බොස්? එලකිරි එහෙනම්. පස්සෙ සෙට් වෙලා මොනවහරි කරමු ආ...?" කියල අර පොර කියුව... ඒ මදිවට අතින් අල්ලගෙන පපුව වද්දල මොකක්දෝ එකකුත් කලා...
පොලිසියෙන්වත් ඒ වෙලාවෙ ඒ හරියෙ නොහිටපු එක ගැන "සාතන්ට" පින් දිදී මම දුවල ඇවිත් කෝච්චියෙ එල්ලුනා... ඔන්න ඔහොමයි දැන් කාලෙ...
අහ් තව එකක් අමතක වුනා... පොරගෙ එකම බලාපොරොත්තුව මොකක්ද දන්නවද...? "මම මේ ගම්පහ හැම කොල්ලෙකුටම ටැටූ ගස්සනව..." ඒ වගේම එතන හිටපු උගෙ "බොකු" ඔක්කොගෙම මූ ටැටූ ගහල... හිකිස්...

Sunday, January 30, 2011

අද ඔහුට, හෙට අපිට විය හැක


මම ඊයෙ මූණුපොතේ කරක්ගහනකොට හද සසලවන පුවතක් දැක්ක. ඒ තමයි අපේම තවත් එකෙක්, ඒ කිවුවෙ අපි වගේම ලෙයින්, මසින් හැදුන එකෙක්ට වෙච්ච අවාසනාවන්ත සිදුවීමක් ගැන.
අපි කවුරුත් මැරෙන මිනිස්සු වෙච්චි ආයෙ මොකටද මේ භේද භින්න. ඉන්න ටික කාලෙදි පුලුවන් තරමින් කාටහරි උදව්වක් කරගෙන ඉන්නව මිසක්. වැඩි කතා ඕන නෑ. මෙන්න මෙතනින් ගියානම් ඔක්කොම විස්තරේ දැනගන්න පුලුවන්. ඔයාලටත් පුලුවන්නම් හැකි පමණින් උදවුවක් කරනවනම් බොහොම පිං. ඔයාට දෙන්න පුළුවන් එක රුපියලයිනම් ඒක දෙන්න. සමහරවිට ඒ රුපියලෙන් ඔයා ලබන සතුට කෝටියකින්වත් ගන්න බැරි නිසා...
එහෙනම් ජය
තවත් විස්තර පහළින් ගන්න
http://cyberfestival.blogspot.com/2011/01/blog-post_30.html?showComment=1296370498038#c2381618130521962288

ළහිරු පෙරේරා තව්තිසාවේ ජනෙල් බින්ඳ වගයි


හදිසියෙම මේ පැත්තෙ ගොඩවැදිල යන්න හිතුන. අලුතෙන් පටන්ගත්තු වැඩ ටිකක් නිසා හරිම කාර්‍ය්බහුලයි.
හදිසියෙම මේ පැත්තෙ එන්න හිතුනෙ හිත කළකිරුනු කාරනාවක් නිසා. ඒක ඒ තරම් දේකුත් නෙවි. ඒත් මගෙ හිත ඒකට කළකිරුන.
ඇහුවද ළහිරු පේරේරගෙ අළුත්ම ගීතය? ඇත්තටම ළහිරුගෙ "රම්බරී" ගීතය නිසා මම ආස කරපු ගායකයෙක් තමයි ඔහු. මොකද ඒකෙ ලොකු තේරුමක් නැතත් හොදට කරල තිබුන නිසා. ඒ වගේම සාදයකදි වගේ ඉතින් පොඩි ඩාන්ස් එකක් දාන්නත් හොදයිනෙ. ඉතින් ලගදි දවසක මම දැක්ක ඔහුගෙ අළුත් ගීතයක් නිකුත්වුනා කියල. නම "කොදෙවු රටේ පොල්". අහල නැත්නම් මෙතනින් යන්න... මොබිටෙල් සමාගම වෙනුවෙන් තමයි කරල තියෙන්නෙ කියලයි කියල තිබුනෙ. හොයල, හොයල අන්තිමට හොයාගත්ත කියමුකො සින්දුව. ඉතින් ආසාවෙන් අහන්න ගත්ත. ඒකත් රම්බරී වගේම තමයි. හරයක් නැතත් අමුතු ගතියක් තිබුනා. ඒත් එක තැනක මම නැවතුනා "දිවියලෝකෙ ටීවි වටේ දෙවියො පිරෙන්නේ... අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ... තවුතිසාවෙ ජනෙල් වලට බෝල වදින්නේ... එන්න...". කවුරු මොන මතයක් දැරුවත් මමනම් මේකට පෞද්ගලිකව එකඟ නෑ... පුදුමෙ කියන්නෙ 2011 Cricket World Cup එකේ Official Theme Song එකත් මේකලු. කරුමෙටවත් සිංහල දන්න එක සුද්දෙක් හරි හිටියනම් උන් ලංකාව ගැන කොහොම හිතයිද? අඩුම තරමෙ රටේ වගකිවයුතු මිනිස්සු, ආයතනවත් මේක දැකල නැද්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.


සිංහල බෞද්ධයෙක් හැටියට මම ඒකට කැමති නෑ. මම දන්නෙ නෑ ළහිරු සිංහලද, බෞද්ධද කියලවත්. ඔහුගෙ සිංදු අහද්දි ඔහුගෙ වතගොත මම හෙවුවෙත් නෑ. ඒකෙන් මට වැඩක් තිබුනෙත් නෑ. සමහරවිට කවුරුහරි කියයි ඔහු නෙවි වෙන්න ඇති මේක ලියුවෙ කියලත්. ඒකත් එහෙමනම් ඔහු ගැන තවත් දුකයි. මොකද ඒකට එකඟ නොවෙන්න තරම් ඔහුට කොන්දක් නොතිබුන එකට. Akon ගෙ වීඩියෝ එකකට අපේ කට්ටිය ගොඩාක් කෑ ගැහුව මට මතකයි. ඒකානම් පරයෙක්, අපේ එකෙක් නෙවි කියලවත් හිත හදාගන්න තිබුන. ඒත් බෞද්ධයාගේ බණ පොත් වල නිතරම කියවෙන තවුතිසාවෙ ජනෙල් බිඳින ළහිරු ගැන කුමන කතාද...? මම හිතන්නෙ නෑ වෙන කිසිම ආගමක ජාතියක තමුන්ගෙම දේවල් මේ තරම් හෑල්ලුවට ලක් කරන කළාකාරයො ඇති කියලනම්. හරිම කණගාටුයි ළහිරු සහෝදරයා... ජීවිතේ, කළාව කියන්නෙ සල්ලි නිසා අම්ම-අප්ප, ආගම-ජාතිය විකුණාගෙන කන එකට නෙවි. තමුන් කරන්නෙ හරි දෙයක්නම්, හැමෝම ඒක පිළිගනීවි සතුටෙන්. පහුවෙලා හරි. ඒකයි එදා වගේම අදටත් අමරදේව මාස්ටර්ගෙ "සසර වසන තුරු..." සිංදුවට මිනිස්සු ආස කරන්නෙ. ඒ වගේම ඔහුට ගරු කරන්නෙත්. සුනිල් එදිරිසිංහයන්ගෙ "අම්මා..." ගීතයට කඳුළු වගුරවන්නෙ. මිනිස්සු මළත් නම පවතින්නෙ එතකොටයි.
මාළුව නහින්නෙත් කට හින්දලු. ඒක නිසා කවුරු, කවුරුත් දෙයක් කියන්න කලින් ටිකක් හිතල බැලුවොත් හොඳයි කියලයි මමනම් හිතන්නෙ... ඔය තමුන්ගෙ සිංදුව හිට් කරගන්න කියල හිතාගෙන ඕනම දහපදුරා වැඩක් කරන හැම කෙනෙක්ම ටිකක් පොලොවෙ පයගහගෙන හිතුවොත් හොඳයි. මොකද ඔය කවුරුත් උඩ පනින්නෙ මිනිස්සු ආදරේ කරනකම් විතරයි නිසා... ඔන්න අපි ගියා. කාටවත් මඩක්වත්, අපහාසයක්වත් නෙවි මම කලේ. හිතන්න පොඩි ඉඟි ටිකක් දුන්න විතරයි.