Monday, November 8, 2010

අපේ තාත්තා...


අපේ තාත්තාගේ මා දන්නා කාලයේ සිට කොන්ඩය සුදුය. අම්මානම් කියන්නේ සෙනසුරු ඒරාෂ්ඨකේ කියාය. හේ වැඩිය කතා නොකරයි. මං පුංචි කාලයේ ඉඳන්ම සිහින මැවුවේ මගේ තාත්තා වගේ වෙන්නටය, ඒ වගේ අඳින්නට, කතා කරන්නට, ඇවිදින්නට මම තාත්තාටත් හොරෙන් තාත්තාව අනුකරණය කළෙමි. එදා ඉඳන්ම තාත්තා මට වීරයෙකි.
මම පෙර පාසල් යන කාලයේ තාත්තා මාවත් බයිසිකලයේ තබාගෙන කිලෝ මීටර හය-හතක් බයිසිකලය පැද්දේය. එදවස් තවමත් මා සිතේ සොඳුරු සිහිනයක් සේ සිත්තම් වී ඇති අයුරු පුදුමය.
මගේ පාසලේ හැම වැඩකටව වාගේ ආවේ තාත්තාය. ඔහු කිසිවිටෙකත් කලබල නොවන්නෙකි. පාසලෙන් කට්ටි පැන හසුවූ දිනක පාසලට ආවේද තාත්තාය. ඒත් ඔහු කලබල නැත. ගාමිනී සර් කියූ දේ සාවදානව අසා සිටි ඔහු මාත් කැටුව ආපසු ගෙදර ආවේය. මටද කිසිවක් නොකීය. ඒත් ඔහු නොකී දේ මට දෑස් තුලින් දැකගත හැකිවිය. එදායින් පසු මම කිසිමදාක කට්ටි පැන්නේද නැත.
තාත්තා මහ පුදුම මිනිසෙකි. පාසල් යන කාලයේ පටන් ඔහු මාව දුම් රිය පොළට ඇරලවයි. හවසට රැගෙන යාමට පැමිණෙයි. අදටත් ඔහු එහෙමමය. සමහර දිනක ඔහු පැමිණෙන්නට ප්‍රමාද වූ දිනක මට කේන්ති යයි. ඒත් ඔහු නොවේ කේන්ති ගන්නේ. කෙසේ වෙතත් මා ඔහු සමග කට ගසාගෙන නොයයි. ඒ බියකට හෝ අන් කිසිවකට නොවේ, ඔහු කෙරේ ඇති භක්තියකටය.
තාත්තා තරම් ඉවසන මිනිසෙකු මා තවත් දැක නැත. ලෝකය පෙරළුනත් ඔහු, ඔහුගේ පාඩුවේ වැඩය. ගමේ සමිතිය ඔහුට මහා ලොකු දෙයකි. ඔහු එය මහා ලොකු වගකීමකින් කරයි. අතින් වියදම් කරගෙන ඔහු සමාජ සේවය කරයි. අම්මා කොතරම් කෑ ගැසුවත් ඔහු නොවේය සැලෙන්නේ. මා මෙන්ම ගමේ මිනිසුන්ද ඔහුට ගෞරව කරයි. ගමේ මිනිසුන් මට සලකන්නේද ඔහුට ඇති ගෞරවයකට මිස මට ඇති බම්බුවකට නොවේය. ඒත් මා ඔහුට ඒ බවක් නොපෙන්වයි. ඒත් සත්‍ය එයයි.
ඔහු කිසිමදාක මට නීති නොදැමීය. මට මගේ පාඩුවේ කැමති දෙයක් කරන්නට ඉඩ දුන්නේය. ඒ ඔහු මා විශ්වාස කළ බැවිනි.
තාත්තා පුදුම අවංකය. රාජකාරිය තරම් ඔහුට තවත් දෙයක් නොමැත. ඔහුගේ විනෝදාංශයද එයම විය හැක. මුදල් යනු ජීවිතය නොවන බව මා උගත්තේ මගේ තාත්තාගෙනි. ඔහු සතුටින් ජීවිතය ගෙන යයි. ඔහුගේ ජීවිතය මගේ තරම් කළබලකාරී නැත. හේ මිදුල අතු ගායි, තණකොළ කපයි, වත්ත-මිදුල පිරිසිදුව තබාගනියි. මටනම් ඒවාට වෙලාවක් නැත. ඒත් ඔහු තාත්තා කෙනෙක් වීත් ඔහුට වේලාව ඇත.
තාත්තා ඊයේ කොහෙන්දෝ ෆාමසියකින් බෙහෙත් වගයක් ගෙනත්ය. එහි වටිනාකම රු. 1100.00 ක් වුවද කඩේ කොලුවාට වැරදී තාත්තාගෙන් ගෙන ඇත්තේ රු. 110.00 කි. ඔහුත් ඒ බවක් නොදැන ගෙදර ඇවිත්ය. ආ පසුය ඔහුට වැඩේ තේරී ඇත්තේ. බිල් පතේ තිබූ අංකයට ඇම්තූ ඔහු ඉතිරි මුදල් මනි ඕඩරයකින් යවා ඇත. ඒ තාත්තාගේ හැටිය. ඔහු අවංක වැඩියැයි වෙලාවකට මට සිතේ.
ඉතින් මගේ තාත්තා ගැන කියනවානම් බ්ලොග් පිටු දාහක්වත් ඕනෑය. කෙසේ වෙතත් අපේ තාත්තා දාහකින්වත් සොයාගත නොහැකි පුදුම මනුස්සයෙකි. මම ඔහුට රු. 6000.00 ණයය. ඒත් ඔහුගේ මුලු ණය පියවීමටනම් මට සංසාරෙදිවත් බැරිය...

Sunday, September 5, 2010

ආමි අයියා

ඉතින් ඔන්න වැඩ ටිකක් නිදහස් වුනා. ඒ නිසා මේ පැත්තෙ රවුමක් ගහල යන්න ආව.
ඊයෙ පොඩි චාන්ස් එකක් ලැබුන සජීවී බොක්සිං තරඟයක් බලන්න. ඇත්තටම මම ඔය ගහගන්න කැමති මනුස්සයෙක් එහෙම නෙවි. (හිනා) ඒත් ඉතිං අපේ සේවා ස්ථානයෙන් එක්කගෙන ගිය නිසා මමත් ගියා බලන්න. ඒත් ඉතින් මට උදේ වරුවෙ පොඩි විභාගයක් තිබුන නිසා ඒක ඉවරවෙල තමයි ගියෙ. විභාගෙ ඉවර වුනා 2.00ට විතර. ඉතින් තරඟෙ පටන්ගන්නෙ 5.00ට නිසා මමයි හිරායි ගියා ගාලු මුවදොර පැත්තෙ පොඩි රවුමක් දාන්න. ගිනි අවුව තමයි. ඒත් ඉතින් අපිටත් පිස්සු හින්ද ගියා.
ඉතින් මම මේ කියන්න හැදුවෙ ගෝල් ෆේස් එක ගැන නෙවි.
අපි එනගමන් තව යාළුවෙක් අපිව ගන්න එනව කීව නිසා අපි දෙන්න පාර අයිනට වෙලා හිටිය. ඉතින් ඔයාල දන්නව ඇතිනෙ ගෝල් ෆේස් එක ඉස්සරහ තියෙනවනෙ ආමි චෙක් පොයින්ට් එකක්. ඔන්න ඔතන තමයි අපි හිටියෙ.
ඔහොම ඉන්නකොට අපි ඉස්සරහ හිටිය ආමි එකේ සහෝදරයෙක්. එයා ඉතින් අපි දිහා බලල හිනා වුනා. ඉතින් අපිත් හිනා වුනා. ඉතින් ටික වෙලාවක් යනකොට අපි හොඳ යාලුවො වෙලා. ඒත් ඉතින් එයාට , එයා හිටපු ටකරං තහඩුවෙන් එහාට යන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. ඔහොම ඉන්න අතර ආව මුස්ලිම් මනුස්සයෙක් එයාගෙ ත්‍රී රෝද රථයෙ බිරිඳත් එක්ක. එයාව පරික්ෂා කරන්න මුරපොලේ නැවැත්වුව. අවසානයේ එයා ආපහු යන්න හදනකොට හරි වැඩේ එයාගෙ ත්‍රී වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ. ඉතින් අනේ අපේ මේ සහෝදර සෙබළ තමයි අර දෙන්නවත් දාගෙන අරක තල්ලු කලේ. මොනතරම් ලෙංගතුකමක්ද. ඒ ඇවිත් එයා කියනව.
 "මල්ලි දැන් මේ රටේ මිනිස්සුන්ට යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ. අපි මිනී කෑලි අරන් අත් දෙකින් වලදැම්ම. අපේ කොල්ලො අපේම අත්වල අන්තිම හුස්ම හෙළුව. ඒත් අනිත් මිනිස්සුන්ට දැන් ඒව මතක නෑ. අඩුම තරමෙ සමහර අය දැක්කම හිනාවත් වෙන්නෙ නෑ. මල්ලිට දැන් හිතුනොත් ගිහින් අර රැල්ල පාගන්න, මල්ලිට යන්න පුලුවන්. ඒත් මට බෑ. මම මෙතන ඉන්න ඕන. ආයෙත් කොටි අපිට ගැහුව දවසකට තමයි අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්නෙ. ඇත්තටම යුද්ධෙ ආයෙත් එනවනම් අපි කැමතියි. එතකොට උඩහට වෙලා පාඩුවෙ ඉන්න පුලුවන්" කියල.
රට බේරගත්ත රණවිරුවෙක් ආයෙත් කොටි ගහනවනම් හොඳයි කියල කියන්න තරම් කළකිරිල තියෙන විදිහ මොන තරම් ශෝකජනකද? ඇත්තටම අපේ මිනිස්සු මොනතරම් නින්දිතද? එදා රටේ අමු අමුවෙන් මිනිස්සු මැරෙද්දි කොහොමද? අද මිනිස්සු ඒ උදාර රණවිරුවො අමතක කරල දාල.
මේවට වගකියන්න ඕන අපිද, රටේ මිනිස්සුද, රට කරන මිනිස්සුද කියන එක මටනම් තවමත් තේරෙන්නෙ නෑ. සමහරවිට ඕව තේරුම්ගන්න තරම් මම මුහුකුරා ගිහින් නැතුව ඇති. ඒත් අපි තරම් අතීතය අමතක කරන නින්දිත ජාතියක් ලොවේ කොහෙවත් නැතුව ඇති කියලනම් මට තේරෙනව.

Wednesday, September 1, 2010

ජාලකරණය දන්න සිංහලෙන් - ආරම්භය

හ්ම්... පාන්දරම ආව පොඩි අදහසක්.පොඩි කිව්වට මේක පොඩිත් නෑ. ඒ කිව්වෙ මේකයි. කතාවකුත් තියෙනවනෙ තමුන් දන්න පුංචි දෙයක් හරි අනුන් අතරේ බෙදාදීම යුතුකමක් කියල. ඒ වගේම ඒක සේවයක්නෙ. ඉතින් මේකයි වැඩේ. අපේ ලංකාව ගත්තම පරිගණක තාක්ෂණය දැන් ගොඩක් දියුණුයි. ඒත් මෘදුකාංග පැත්තට තමයි ගොඩක් නැඹුරු. තවමත් පරිගණක ජාලකරණය පැත්තට නැඹුරු වෙන පිරිස අඩුයි කියලයි මගේ අදහසනම්.
ඉතින් මම හිතුව පොඩ්ඩක් ජාලකරණය පිළිබඳ මූලික දැනීම ලිපි පෙළකින් ඔයාල අතරට ගෙන එන්න. (කාලය පිළිබඳ ගැටළුවක් නැතුවා නොවෙයි හොඳද?). හැබැයි මම නෙට්වර්කින් වැඩකාරයෙක් එහෙම නෙවි හොඳද? දන්න ටික කියන්නම්...
එහෙනම් ඉදිරියෙදි හමුවෙමු.
ජය

Sunday, August 29, 2010

මගේ අම්මා


අම්මා...

දවසක් මම පොතක කියවල තියෙනව මේ ලෝකෙ තියෙන ලස්සනම වචනෙ අම්මා කියල. ඒ දවස්වල ඒකෙ තේරුමක් එච්චරටම නොදැනුනත් අපි කාලයත් එක්ක මුහුකුරා යනකොට ඒක ඇත්ත කියල තේරෙනව නේද? අපි ගෙදරින් පිට ගිහින් එනකොට අම්ම ගෙදර නැත්නම් මොනතරම් දුකයිද...? අනේ මන්ද මටනම් ගොඩක් කේන්ති යනව එතකොට. ගෙදරට එන්නෙ "අම්මේ" කියල කෑ ගහගෙන. මට තවමත් තේරෙන්නෙ නෑ ඇයි කියල. අම්මනම් කියන්නෙ "මොකද මේ බෙරිහන් දෙන්නෙ කියල". දෙවියන්ට කලින් මම අම්මට, තාත්තට පින් දෙන්නෙ ඒ අරුම-පුදුම බැඳීම නිසා වෙන්න ඇති...

Thursday, August 26, 2010

දේශ සීමා ආක්‍රමණය

ඉතින් අදත් හිතුන පෝස්ට් එකක් දාල යන්න. මොකද ඉතින් කාලය කියන දේ හරිම හිඟ දෙයක්නෙ.
අද මම වැඩට ගියෙ නෑ. දැම්ම නිවාඩුවක්. වෙන මොකටවත් නෙවි බෙහෙත් ටිකක් ගන්න. ඇති මහලොකු ලෙඩකටත් නෙවි. අපේ අම්මගෙ වදෙන් බේරෙන්න. ඉතින් මම ඔය ඉංගිරිස් බෙහෙත් පාවිච්චිය හරිම අඩුයිනෙ. ඉංගිරිස් බෙහෙතකට කියල බොන්නෙ පණු බෙහෙත් විතරයි (හිනා). ඉතින් උදෙන්ම නැග්ග මගෙ සුපුරුදු වාහනේට. ඒ කිව්වෙ කෝච්චියට හොඳේ. ඔන්න ඉතින් යනව. හම්බ වුනා යාළුවො දෙන්නෙකුත්. එකෙක් ගම්පහින් බහිනව. අනික රාගමින්. මම ඉතින් කොටුවටම යන එකානෙ. හරි බරි ගැහිල වාඩිවෙලා තුන්දෙනාම යනව ඔන්න.
මෙන්න ටික දුරක් යනකොට අයියල, නංගිල, මාමල, නැන්දල, දූල, පුතාල ටික ටික වැඩිවුනා. අපි වාඩිවෙල හිටපු තැනත් අර හැමදාම යන අයගෙ තැනක්ද කොහෙද. කස්ටිය හෝ ගාල අපිට රවනව. අපිත් ඉතින් අපි නෙවි වගේ යනව. ඇයි දෙයියනේ මේක පුදුම රටක්නෙ. අපිට වාඩිවෙල යන්න නරකද. හැමදාම යන අය විතරද වාඩිවෙලා යන්න ඕන? හැබැයි මම මෙතනදි විශේෂ දෙයක් දැක්ක. ඒක තමයි පිරිමින්ට වැඩිය ගෑණු තමයි රවන්නෙ. බේරෙන්න බැරි එයාලගෙන්. අර කොල්ලො කොහොමත් හිටගෙන යන්නෙ. මොකද මගින් නගින, නගින කෙල්ලට උන් ඉඩ දෙන්න ඕනනෙ... හිකිස්...
අනේ අරුන් දෙන්නම මගින් බැස්සට පස්සෙ මම තනි වුනා. මගෙ යාළුව රාගමින් බැස්සම එතන වාඩිවුනා නංගිල දෙන්නෙක්. බැස්සෙ එකෙක් වුනාට වාඩිවුනා දෙන්නෙක්. අනේ මගෙ යාළුව එච්චර මහත එහෙම නෑ. ඒ වුනාට නංගිල අපූරුවට වාඩිවුනා. එක්කෙනෙක් හොඳට පිටිපස්සට හේත්තු වෙලා වාඩිවුනා. ඒත් අනිත් එක්කෙනාට ඉඩ මදි නිසා සීට් එකේ භාගෙට තමයි වාඩි වුනේ. ඔන්න ඉතින් යනව. ටිකකින් මට තේරුනා භාගෙට වාඩිවෙලා උන්නු නංගි ටික ටික දඟලනව වගේ. ඔන්න එතකොට තමයි මට තේරුනේ වැඩේ. නංගිය  හිමීට දේශ සීමා ආක්‍රමණය කරනව. අන්තිමට කැලණිය දිහාට එනකොට මොකක්ද දන්නවද තත්වෙ? නංගිල දෙන්න හොඳට හේත්තු වෙලා නිදි. මේ අයිය තඩි බෑග් එකත් ඔඩොක්කුවෙ තියාගෙන භාගෙට වාඩිවෙලා. බැරිම තැන අයිය නැගිටල දොර ළඟට ගියා. කොටුවට යනකම්ම හිටගෙන තමයි ඉතින්... අනේ දුක්කේ සංසාරේ. මින් පස්සෙනම් කළින් වෙන් කළ ආසන වල වාඩි වෙන්නෙ නෑ මේ අයිය. ඕං කිව්ව...

Wednesday, August 25, 2010

බලු-කපුටු “සංග්‍රහය"


බත් කන බලු හාමියෙක්
දැන් ඉතින් වෙසක් නෙවි පොසොන් කාලෙනෙ. ඒත් ඉතින් වෙසක් උණුහුම තවම තියෙනව වගේ. කාළගුනෙත් ෂෝක්. වෙනසකටත් එක්ක හිතුන පොඩ්ඩක් අපි වෙසක් දවස ගෙවපු විදිය මතක් කරන්න.
ඉතින් වෙසක් එකට අපි දුන්න නොව බලු කපුටු දානයක්. අපි හැමෝම වගේ කරන්නෙ මිනිස්සුන්ට දන්සල් දෙන එකනෙ (වෙලාවකට ඉතින් මගෙ ගොං මොලේටත් එනව මහ පුදුම අදහස්). එහා ගමේ සෙට් එක අපේ බාප්ප කාරයෙකුත් සෙට් කරගෙන හැම අවුරුද්දෙම දෙනව ජයටම බත් දන්සලක්. ඒක ඉතින් මහා ඉහළින් දෙනව. හැබැයි වැඩිපුරම කන්නෙ ගමේම අය තමයි. (හිකිස්). කොහොම වුනත් මමත් ඉතින් ඕකෙ යාවජීව සාමාජිකයෙක්.
ඉතින් අපේ ගමේ කොල්ලො සෙට් කරගෙන මොකක්ද කරන්නෙ කියල බෝක්කුව (බෝක්කුව කීවට එහෙම නෙවි හොඳේ. ඒක “club” එක) උඩ සාකච්ඡා කොර, කොර ඉන්නකොට මෙන්න ආපි අපේ බන්ඩාර අයියා. මිනිහා කියාපි අපි බලු කපුටු දානයක් දෙමු කියල. මටත් ඉතින් මාර චූන්. මොකද වැඩේ වටිනව. බල්ලොත් කන්න එපැයි නේද? ඒ අදහස ඒකමතිකව පිළිගැනුන. මම භාරගත්ත කරෝල. කුඹුරු තියෙන අය හාල් භාරගත්ත.
ඉතින් ඔන්න පෝය දවසෙ පාන්දරම වැඩේට සෙට් වුනා. කට්ටියම උයනව. ඇත්තම කියනවනම් මාර සුවඳක්. බලු හාමිල දැන්මම අවිත් බලා ඉන්නව. ඒත් ඉතින් නිවෙන්නත් ඕනනෙ. ඔන්න සේරම හරි. කොහෙන්දෝ ගෙනාපු මේඩ් ඉන් ශ්‍රී ලංකා වාහන තුනක් (වාහන කීවට වාහනම නෙවි, වීල් බැරෝ) “බලු” බත් වලින් පිරිල ගියා. පුංචි උන් කැන්ද කොල කඩාගෙන ආව. සේරම හරි. වාහන තුන, තුන් පැත්තකට බෙදිල ගියා. ඔය එකක මමත් ඉතින් ඇණයක් ගහගත්ත.
“කපුටු කාක්, කාක්. බල්ල ඉජුහ්, ඉජුහ්…”
ඔන්න යනව. එදා තමයි දැනගත්තෙ බල්ලොත් විවිධාකාර එවුන් ඉන්නව (හරියට මිනිස්සු වගේම තමයි ). සමහර එවුන් මහ අහංකාරයි. දුන්නට කන්නෙත් නෑ. සමහර එවුන් කළගුන සලකන්න වගේ බොහොම දයාන්විතව බලනව. තව සමහර එවුන් කන්න දුන්න අත හපාකන්න හදනව. තව දෙයක්. සමහර ලොකු ගෙවල් වල හිටපු දඩාර ඇල්සේෂන් බලු නාම්බො ඔක්කොටම වැඩිය පෙරේතයි. උන්ගෙ අයිතිකාරයොනම් අපිට කියන්නෙ
“මූට දෙන්නෙ එළුමස්. නැත්නම් කටේවත් තියන්නෙ නෑ” කියල. ඒත් අර කරෝල අනපු බත් පොර කකා කෑවෙ යස අගේට. (හිකිස්).
ඉතින් එදා දවස බොහොම අර්ථාන්විතව ගෙවිල ගියා කියල මම හිතින් ගොඩක් සතුටු වෙනව. හැමදාම අපි කරන්නෙ අපේම මිනිස්සුන්ට කන්න දුන්න එකනෙ. සාම්ප්‍රදාය ටිකක් වෙනස් වුනා කියල කාටවත් හානියක් වෙන එකක් නෑ මයෙ හිතේ. එහෙනම් අදට තිත තියන්නම්. හැමෝටම සුභ සතියක් කිව්ව ඕං