Wednesday, March 23, 2011

පච්ච සිරා...


හේ මට හමුවුනේ අහම්බයකිනි.
මොකක්දෝ වැඩකට ගම්පහ ගිය වෙලාවක ඉස්කෝලෙ හිටපු පරණ යාළුවෙක් ඉස්ටේසමේදි මුණගැහුන. ආගිය කතා කියවනගමන්ම යාළුව කීව විජේසිරියට යමු කියල. ඔය ගම්පහ කරක් ගහපු කවුරු හරි ඉන්නවනම් ඉතින් විජේසිරිය නොදන්නව වෙන්න බෑ. ඉතින් ඔය කඩේ පිටිපස්සෙ පොඩි කයියක් දාගෙන ඉන්නකොට ආව මෙතනට පොඩි උන් කස්ටියක්. පොඩි කීවට උන් ඇඟෙන් විතරයි පොඩි. කලිසම බාගෙට එල්ලගෙන, මුදු, මාල, කරාබු දාගෙන අමුතුම සෙට් එකක්.
ඉස්සර ඉතින් අපි ගම්පහ සෙට් ඇඳුරුවට දැන් අපිව කවුරුත් අඳුරන්නෙ නෑනෙ. ඒත් මේ සෙට් එක මගෙ යාළුව අඳුරනව. ඉතින් මගෙ යාළුව උන් එක්ක පොඩි කතාවකට වැටුන.
"ආ මල්ලි කොහොමද?" ඒ මගෙ යාළුව.
"දන්නෙ නැද්ද අයියා. ඔන්න ඔහෙ ආතල් එකේ ඉන්නව. අපිට ඉතින් සාතන්ගෙ පිහිට තමයි" ඔය අර මම කියපු "පොර"
ඉතින් මනුස්සයගෙ ස්වරූපෙ මම ටිකක් කියන්නම්. ඇත්තම කියනවනම් මිනිහගෙ ඇඟේ හිල් නැති තැනක් නෑ. ඇයි බැම, තොල්, කම්මුල්, කන්. ඔය හැම තැනකම "බොඩි පියර්සින්" කරල. තව රහස් තැන් වලත් තියෙනව කියල ඌ කිව්වෙ මගෙ යාලුව ඇහුවම.
ඒ මදිවට පච්ච... අතේ, පයේ, පිටේ හැම තැනම පච්ච. කැතත් නෑ. ඒ මදිවට බෙල්ලෙ තඩි කුරුසයක් අනිත් පැත්තට එල්ලගෙන. ඒක ටිකක් අස්වභාවික නිසා මගෙ යාළුව ඇහුව ඒ ගැන.
"අයියා මම ඇන්ටි ක්‍රිස්ට්"
"ඒ කියන්නෙ?"
"ඒ කියන්නෙ මේකනෙ බොස්. හැමෝම අදහන්නෙ දෙවියන් වහන්සේව. දෙවියන් වහන්සේ ඉතින් අපි ගැන බලන්නෙ නෑනෙ. ඉතින් අපේ දෙවියො සාතන්. අපි අදහන්නෙ එතුමන්ව..."


මගෙ ඇස් දෙක වගේම යාළුවගෙ ඇස් දෙකත් උඩ විසිවෙලා ආයෙත් උගෙ බෙල්ලෙ මාලෙට යොමුවෙනව මම දැක්ක.
"මචන් මම යනව එහෙනම්. ට්‍රේන් එකටත් වෙලාව හරිනෙ" මම කිව්වෙ මාරු වෙන්න බලාගෙන.
"බොස් යනවද බොස්? එලකිරි එහෙනම්. පස්සෙ සෙට් වෙලා මොනවහරි කරමු ආ...?" කියල අර පොර කියුව... ඒ මදිවට අතින් අල්ලගෙන පපුව වද්දල මොකක්දෝ එකකුත් කලා...
පොලිසියෙන්වත් ඒ වෙලාවෙ ඒ හරියෙ නොහිටපු එක ගැන "සාතන්ට" පින් දිදී මම දුවල ඇවිත් කෝච්චියෙ එල්ලුනා... ඔන්න ඔහොමයි දැන් කාලෙ...
අහ් තව එකක් අමතක වුනා... පොරගෙ එකම බලාපොරොත්තුව මොකක්ද දන්නවද...? "මම මේ ගම්පහ හැම කොල්ලෙකුටම ටැටූ ගස්සනව..." ඒ වගේම එතන හිටපු උගෙ "බොකු" ඔක්කොගෙම මූ ටැටූ ගහල... හිකිස්...