Sunday, January 30, 2011

අද ඔහුට, හෙට අපිට විය හැක


මම ඊයෙ මූණුපොතේ කරක්ගහනකොට හද සසලවන පුවතක් දැක්ක. ඒ තමයි අපේම තවත් එකෙක්, ඒ කිවුවෙ අපි වගේම ලෙයින්, මසින් හැදුන එකෙක්ට වෙච්ච අවාසනාවන්ත සිදුවීමක් ගැන.
අපි කවුරුත් මැරෙන මිනිස්සු වෙච්චි ආයෙ මොකටද මේ භේද භින්න. ඉන්න ටික කාලෙදි පුලුවන් තරමින් කාටහරි උදව්වක් කරගෙන ඉන්නව මිසක්. වැඩි කතා ඕන නෑ. මෙන්න මෙතනින් ගියානම් ඔක්කොම විස්තරේ දැනගන්න පුලුවන්. ඔයාලටත් පුලුවන්නම් හැකි පමණින් උදවුවක් කරනවනම් බොහොම පිං. ඔයාට දෙන්න පුළුවන් එක රුපියලයිනම් ඒක දෙන්න. සමහරවිට ඒ රුපියලෙන් ඔයා ලබන සතුට කෝටියකින්වත් ගන්න බැරි නිසා...
එහෙනම් ජය
තවත් විස්තර පහළින් ගන්න
http://cyberfestival.blogspot.com/2011/01/blog-post_30.html?showComment=1296370498038#c2381618130521962288

ළහිරු පෙරේරා තව්තිසාවේ ජනෙල් බින්ඳ වගයි


හදිසියෙම මේ පැත්තෙ ගොඩවැදිල යන්න හිතුන. අලුතෙන් පටන්ගත්තු වැඩ ටිකක් නිසා හරිම කාර්‍ය්බහුලයි.
හදිසියෙම මේ පැත්තෙ එන්න හිතුනෙ හිත කළකිරුනු කාරනාවක් නිසා. ඒක ඒ තරම් දේකුත් නෙවි. ඒත් මගෙ හිත ඒකට කළකිරුන.
ඇහුවද ළහිරු පේරේරගෙ අළුත්ම ගීතය? ඇත්තටම ළහිරුගෙ "රම්බරී" ගීතය නිසා මම ආස කරපු ගායකයෙක් තමයි ඔහු. මොකද ඒකෙ ලොකු තේරුමක් නැතත් හොදට කරල තිබුන නිසා. ඒ වගේම සාදයකදි වගේ ඉතින් පොඩි ඩාන්ස් එකක් දාන්නත් හොදයිනෙ. ඉතින් ලගදි දවසක මම දැක්ක ඔහුගෙ අළුත් ගීතයක් නිකුත්වුනා කියල. නම "කොදෙවු රටේ පොල්". අහල නැත්නම් මෙතනින් යන්න... මොබිටෙල් සමාගම වෙනුවෙන් තමයි කරල තියෙන්නෙ කියලයි කියල තිබුනෙ. හොයල, හොයල අන්තිමට හොයාගත්ත කියමුකො සින්දුව. ඉතින් ආසාවෙන් අහන්න ගත්ත. ඒකත් රම්බරී වගේම තමයි. හරයක් නැතත් අමුතු ගතියක් තිබුනා. ඒත් එක තැනක මම නැවතුනා "දිවියලෝකෙ ටීවි වටේ දෙවියො පිරෙන්නේ... අපේ රටේ දිනුම පතා හුරේ කියන්නේ... තවුතිසාවෙ ජනෙල් වලට බෝල වදින්නේ... එන්න...". කවුරු මොන මතයක් දැරුවත් මමනම් මේකට පෞද්ගලිකව එකඟ නෑ... පුදුමෙ කියන්නෙ 2011 Cricket World Cup එකේ Official Theme Song එකත් මේකලු. කරුමෙටවත් සිංහල දන්න එක සුද්දෙක් හරි හිටියනම් උන් ලංකාව ගැන කොහොම හිතයිද? අඩුම තරමෙ රටේ වගකිවයුතු මිනිස්සු, ආයතනවත් මේක දැකල නැද්ද කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ.


සිංහල බෞද්ධයෙක් හැටියට මම ඒකට කැමති නෑ. මම දන්නෙ නෑ ළහිරු සිංහලද, බෞද්ධද කියලවත්. ඔහුගෙ සිංදු අහද්දි ඔහුගෙ වතගොත මම හෙවුවෙත් නෑ. ඒකෙන් මට වැඩක් තිබුනෙත් නෑ. සමහරවිට කවුරුහරි කියයි ඔහු නෙවි වෙන්න ඇති මේක ලියුවෙ කියලත්. ඒකත් එහෙමනම් ඔහු ගැන තවත් දුකයි. මොකද ඒකට එකඟ නොවෙන්න තරම් ඔහුට කොන්දක් නොතිබුන එකට. Akon ගෙ වීඩියෝ එකකට අපේ කට්ටිය ගොඩාක් කෑ ගැහුව මට මතකයි. ඒකානම් පරයෙක්, අපේ එකෙක් නෙවි කියලවත් හිත හදාගන්න තිබුන. ඒත් බෞද්ධයාගේ බණ පොත් වල නිතරම කියවෙන තවුතිසාවෙ ජනෙල් බිඳින ළහිරු ගැන කුමන කතාද...? මම හිතන්නෙ නෑ වෙන කිසිම ආගමක ජාතියක තමුන්ගෙම දේවල් මේ තරම් හෑල්ලුවට ලක් කරන කළාකාරයො ඇති කියලනම්. හරිම කණගාටුයි ළහිරු සහෝදරයා... ජීවිතේ, කළාව කියන්නෙ සල්ලි නිසා අම්ම-අප්ප, ආගම-ජාතිය විකුණාගෙන කන එකට නෙවි. තමුන් කරන්නෙ හරි දෙයක්නම්, හැමෝම ඒක පිළිගනීවි සතුටෙන්. පහුවෙලා හරි. ඒකයි එදා වගේම අදටත් අමරදේව මාස්ටර්ගෙ "සසර වසන තුරු..." සිංදුවට මිනිස්සු ආස කරන්නෙ. ඒ වගේම ඔහුට ගරු කරන්නෙත්. සුනිල් එදිරිසිංහයන්ගෙ "අම්මා..." ගීතයට කඳුළු වගුරවන්නෙ. මිනිස්සු මළත් නම පවතින්නෙ එතකොටයි.
මාළුව නහින්නෙත් කට හින්දලු. ඒක නිසා කවුරු, කවුරුත් දෙයක් කියන්න කලින් ටිකක් හිතල බැලුවොත් හොඳයි කියලයි මමනම් හිතන්නෙ... ඔය තමුන්ගෙ සිංදුව හිට් කරගන්න කියල හිතාගෙන ඕනම දහපදුරා වැඩක් කරන හැම කෙනෙක්ම ටිකක් පොලොවෙ පයගහගෙන හිතුවොත් හොඳයි. මොකද ඔය කවුරුත් උඩ පනින්නෙ මිනිස්සු ආදරේ කරනකම් විතරයි නිසා... ඔන්න අපි ගියා. කාටවත් මඩක්වත්, අපහාසයක්වත් නෙවි මම කලේ. හිතන්න පොඩි ඉඟි ටිකක් දුන්න විතරයි.

Monday, November 8, 2010

අපේ තාත්තා...


අපේ තාත්තාගේ මා දන්නා කාලයේ සිට කොන්ඩය සුදුය. අම්මානම් කියන්නේ සෙනසුරු ඒරාෂ්ඨකේ කියාය. හේ වැඩිය කතා නොකරයි. මං පුංචි කාලයේ ඉඳන්ම සිහින මැවුවේ මගේ තාත්තා වගේ වෙන්නටය, ඒ වගේ අඳින්නට, කතා කරන්නට, ඇවිදින්නට මම තාත්තාටත් හොරෙන් තාත්තාව අනුකරණය කළෙමි. එදා ඉඳන්ම තාත්තා මට වීරයෙකි.
මම පෙර පාසල් යන කාලයේ තාත්තා මාවත් බයිසිකලයේ තබාගෙන කිලෝ මීටර හය-හතක් බයිසිකලය පැද්දේය. එදවස් තවමත් මා සිතේ සොඳුරු සිහිනයක් සේ සිත්තම් වී ඇති අයුරු පුදුමය.
මගේ පාසලේ හැම වැඩකටව වාගේ ආවේ තාත්තාය. ඔහු කිසිවිටෙකත් කලබල නොවන්නෙකි. පාසලෙන් කට්ටි පැන හසුවූ දිනක පාසලට ආවේද තාත්තාය. ඒත් ඔහු කලබල නැත. ගාමිනී සර් කියූ දේ සාවදානව අසා සිටි ඔහු මාත් කැටුව ආපසු ගෙදර ආවේය. මටද කිසිවක් නොකීය. ඒත් ඔහු නොකී දේ මට දෑස් තුලින් දැකගත හැකිවිය. එදායින් පසු මම කිසිමදාක කට්ටි පැන්නේද නැත.
තාත්තා මහ පුදුම මිනිසෙකි. පාසල් යන කාලයේ පටන් ඔහු මාව දුම් රිය පොළට ඇරලවයි. හවසට රැගෙන යාමට පැමිණෙයි. අදටත් ඔහු එහෙමමය. සමහර දිනක ඔහු පැමිණෙන්නට ප්‍රමාද වූ දිනක මට කේන්ති යයි. ඒත් ඔහු නොවේ කේන්ති ගන්නේ. කෙසේ වෙතත් මා ඔහු සමග කට ගසාගෙන නොයයි. ඒ බියකට හෝ අන් කිසිවකට නොවේ, ඔහු කෙරේ ඇති භක්තියකටය.
තාත්තා තරම් ඉවසන මිනිසෙකු මා තවත් දැක නැත. ලෝකය පෙරළුනත් ඔහු, ඔහුගේ පාඩුවේ වැඩය. ගමේ සමිතිය ඔහුට මහා ලොකු දෙයකි. ඔහු එය මහා ලොකු වගකීමකින් කරයි. අතින් වියදම් කරගෙන ඔහු සමාජ සේවය කරයි. අම්මා කොතරම් කෑ ගැසුවත් ඔහු නොවේය සැලෙන්නේ. මා මෙන්ම ගමේ මිනිසුන්ද ඔහුට ගෞරව කරයි. ගමේ මිනිසුන් මට සලකන්නේද ඔහුට ඇති ගෞරවයකට මිස මට ඇති බම්බුවකට නොවේය. ඒත් මා ඔහුට ඒ බවක් නොපෙන්වයි. ඒත් සත්‍ය එයයි.
ඔහු කිසිමදාක මට නීති නොදැමීය. මට මගේ පාඩුවේ කැමති දෙයක් කරන්නට ඉඩ දුන්නේය. ඒ ඔහු මා විශ්වාස කළ බැවිනි.
තාත්තා පුදුම අවංකය. රාජකාරිය තරම් ඔහුට තවත් දෙයක් නොමැත. ඔහුගේ විනෝදාංශයද එයම විය හැක. මුදල් යනු ජීවිතය නොවන බව මා උගත්තේ මගේ තාත්තාගෙනි. ඔහු සතුටින් ජීවිතය ගෙන යයි. ඔහුගේ ජීවිතය මගේ තරම් කළබලකාරී නැත. හේ මිදුල අතු ගායි, තණකොළ කපයි, වත්ත-මිදුල පිරිසිදුව තබාගනියි. මටනම් ඒවාට වෙලාවක් නැත. ඒත් ඔහු තාත්තා කෙනෙක් වීත් ඔහුට වේලාව ඇත.
තාත්තා ඊයේ කොහෙන්දෝ ෆාමසියකින් බෙහෙත් වගයක් ගෙනත්ය. එහි වටිනාකම රු. 1100.00 ක් වුවද කඩේ කොලුවාට වැරදී තාත්තාගෙන් ගෙන ඇත්තේ රු. 110.00 කි. ඔහුත් ඒ බවක් නොදැන ගෙදර ඇවිත්ය. ආ පසුය ඔහුට වැඩේ තේරී ඇත්තේ. බිල් පතේ තිබූ අංකයට ඇම්තූ ඔහු ඉතිරි මුදල් මනි ඕඩරයකින් යවා ඇත. ඒ තාත්තාගේ හැටිය. ඔහු අවංක වැඩියැයි වෙලාවකට මට සිතේ.
ඉතින් මගේ තාත්තා ගැන කියනවානම් බ්ලොග් පිටු දාහක්වත් ඕනෑය. කෙසේ වෙතත් අපේ තාත්තා දාහකින්වත් සොයාගත නොහැකි පුදුම මනුස්සයෙකි. මම ඔහුට රු. 6000.00 ණයය. ඒත් ඔහුගේ මුලු ණය පියවීමටනම් මට සංසාරෙදිවත් බැරිය...

Sunday, September 5, 2010

ආමි අයියා

ඉතින් ඔන්න වැඩ ටිකක් නිදහස් වුනා. ඒ නිසා මේ පැත්තෙ රවුමක් ගහල යන්න ආව.
ඊයෙ පොඩි චාන්ස් එකක් ලැබුන සජීවී බොක්සිං තරඟයක් බලන්න. ඇත්තටම මම ඔය ගහගන්න කැමති මනුස්සයෙක් එහෙම නෙවි. (හිනා) ඒත් ඉතිං අපේ සේවා ස්ථානයෙන් එක්කගෙන ගිය නිසා මමත් ගියා බලන්න. ඒත් ඉතින් මට උදේ වරුවෙ පොඩි විභාගයක් තිබුන නිසා ඒක ඉවරවෙල තමයි ගියෙ. විභාගෙ ඉවර වුනා 2.00ට විතර. ඉතින් තරඟෙ පටන්ගන්නෙ 5.00ට නිසා මමයි හිරායි ගියා ගාලු මුවදොර පැත්තෙ පොඩි රවුමක් දාන්න. ගිනි අවුව තමයි. ඒත් ඉතින් අපිටත් පිස්සු හින්ද ගියා.
ඉතින් මම මේ කියන්න හැදුවෙ ගෝල් ෆේස් එක ගැන නෙවි.
අපි එනගමන් තව යාළුවෙක් අපිව ගන්න එනව කීව නිසා අපි දෙන්න පාර අයිනට වෙලා හිටිය. ඉතින් ඔයාල දන්නව ඇතිනෙ ගෝල් ෆේස් එක ඉස්සරහ තියෙනවනෙ ආමි චෙක් පොයින්ට් එකක්. ඔන්න ඔතන තමයි අපි හිටියෙ.
ඔහොම ඉන්නකොට අපි ඉස්සරහ හිටිය ආමි එකේ සහෝදරයෙක්. එයා ඉතින් අපි දිහා බලල හිනා වුනා. ඉතින් අපිත් හිනා වුනා. ඉතින් ටික වෙලාවක් යනකොට අපි හොඳ යාලුවො වෙලා. ඒත් ඉතින් එයාට , එයා හිටපු ටකරං තහඩුවෙන් එහාට යන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. ඔහොම ඉන්න අතර ආව මුස්ලිම් මනුස්සයෙක් එයාගෙ ත්‍රී රෝද රථයෙ බිරිඳත් එක්ක. එයාව පරික්ෂා කරන්න මුරපොලේ නැවැත්වුව. අවසානයේ එයා ආපහු යන්න හදනකොට හරි වැඩේ එයාගෙ ත්‍රී වීල් එක ස්ටාර්ට් වෙන්නෙ නෑ. ඉතින් අනේ අපේ මේ සහෝදර සෙබළ තමයි අර දෙන්නවත් දාගෙන අරක තල්ලු කලේ. මොනතරම් ලෙංගතුකමක්ද. ඒ ඇවිත් එයා කියනව.
 "මල්ලි දැන් මේ රටේ මිනිස්සුන්ට යුද්ධයක් තිබ්බද කියලවත් මතක නෑ. අපි මිනී කෑලි අරන් අත් දෙකින් වලදැම්ම. අපේ කොල්ලො අපේම අත්වල අන්තිම හුස්ම හෙළුව. ඒත් අනිත් මිනිස්සුන්ට දැන් ඒව මතක නෑ. අඩුම තරමෙ සමහර අය දැක්කම හිනාවත් වෙන්නෙ නෑ. මල්ලිට දැන් හිතුනොත් ගිහින් අර රැල්ල පාගන්න, මල්ලිට යන්න පුලුවන්. ඒත් මට බෑ. මම මෙතන ඉන්න ඕන. ආයෙත් කොටි අපිට ගැහුව දවසකට තමයි අපේ මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්නෙ. ඇත්තටම යුද්ධෙ ආයෙත් එනවනම් අපි කැමතියි. එතකොට උඩහට වෙලා පාඩුවෙ ඉන්න පුලුවන්" කියල.
රට බේරගත්ත රණවිරුවෙක් ආයෙත් කොටි ගහනවනම් හොඳයි කියල කියන්න තරම් කළකිරිල තියෙන විදිහ මොන තරම් ශෝකජනකද? ඇත්තටම අපේ මිනිස්සු මොනතරම් නින්දිතද? එදා රටේ අමු අමුවෙන් මිනිස්සු මැරෙද්දි කොහොමද? අද මිනිස්සු ඒ උදාර රණවිරුවො අමතක කරල දාල.
මේවට වගකියන්න ඕන අපිද, රටේ මිනිස්සුද, රට කරන මිනිස්සුද කියන එක මටනම් තවමත් තේරෙන්නෙ නෑ. සමහරවිට ඕව තේරුම්ගන්න තරම් මම මුහුකුරා ගිහින් නැතුව ඇති. ඒත් අපි තරම් අතීතය අමතක කරන නින්දිත ජාතියක් ලොවේ කොහෙවත් නැතුව ඇති කියලනම් මට තේරෙනව.

Wednesday, September 1, 2010

ජාලකරණය දන්න සිංහලෙන් - ආරම්භය

හ්ම්... පාන්දරම ආව පොඩි අදහසක්.පොඩි කිව්වට මේක පොඩිත් නෑ. ඒ කිව්වෙ මේකයි. කතාවකුත් තියෙනවනෙ තමුන් දන්න පුංචි දෙයක් හරි අනුන් අතරේ බෙදාදීම යුතුකමක් කියල. ඒ වගේම ඒක සේවයක්නෙ. ඉතින් මේකයි වැඩේ. අපේ ලංකාව ගත්තම පරිගණක තාක්ෂණය දැන් ගොඩක් දියුණුයි. ඒත් මෘදුකාංග පැත්තට තමයි ගොඩක් නැඹුරු. තවමත් පරිගණක ජාලකරණය පැත්තට නැඹුරු වෙන පිරිස අඩුයි කියලයි මගේ අදහසනම්.
ඉතින් මම හිතුව පොඩ්ඩක් ජාලකරණය පිළිබඳ මූලික දැනීම ලිපි පෙළකින් ඔයාල අතරට ගෙන එන්න. (කාලය පිළිබඳ ගැටළුවක් නැතුවා නොවෙයි හොඳද?). හැබැයි මම නෙට්වර්කින් වැඩකාරයෙක් එහෙම නෙවි හොඳද? දන්න ටික කියන්නම්...
එහෙනම් ඉදිරියෙදි හමුවෙමු.
ජය

Sunday, August 29, 2010

මගේ අම්මා


අම්මා...

දවසක් මම පොතක කියවල තියෙනව මේ ලෝකෙ තියෙන ලස්සනම වචනෙ අම්මා කියල. ඒ දවස්වල ඒකෙ තේරුමක් එච්චරටම නොදැනුනත් අපි කාලයත් එක්ක මුහුකුරා යනකොට ඒක ඇත්ත කියල තේරෙනව නේද? අපි ගෙදරින් පිට ගිහින් එනකොට අම්ම ගෙදර නැත්නම් මොනතරම් දුකයිද...? අනේ මන්ද මටනම් ගොඩක් කේන්ති යනව එතකොට. ගෙදරට එන්නෙ "අම්මේ" කියල කෑ ගහගෙන. මට තවමත් තේරෙන්නෙ නෑ ඇයි කියල. අම්මනම් කියන්නෙ "මොකද මේ බෙරිහන් දෙන්නෙ කියල". දෙවියන්ට කලින් මම අම්මට, තාත්තට පින් දෙන්නෙ ඒ අරුම-පුදුම බැඳීම නිසා වෙන්න ඇති...

Thursday, August 26, 2010

දේශ සීමා ආක්‍රමණය

ඉතින් අදත් හිතුන පෝස්ට් එකක් දාල යන්න. මොකද ඉතින් කාලය කියන දේ හරිම හිඟ දෙයක්නෙ.
අද මම වැඩට ගියෙ නෑ. දැම්ම නිවාඩුවක්. වෙන මොකටවත් නෙවි බෙහෙත් ටිකක් ගන්න. ඇති මහලොකු ලෙඩකටත් නෙවි. අපේ අම්මගෙ වදෙන් බේරෙන්න. ඉතින් මම ඔය ඉංගිරිස් බෙහෙත් පාවිච්චිය හරිම අඩුයිනෙ. ඉංගිරිස් බෙහෙතකට කියල බොන්නෙ පණු බෙහෙත් විතරයි (හිනා). ඉතින් උදෙන්ම නැග්ග මගෙ සුපුරුදු වාහනේට. ඒ කිව්වෙ කෝච්චියට හොඳේ. ඔන්න ඉතින් යනව. හම්බ වුනා යාළුවො දෙන්නෙකුත්. එකෙක් ගම්පහින් බහිනව. අනික රාගමින්. මම ඉතින් කොටුවටම යන එකානෙ. හරි බරි ගැහිල වාඩිවෙලා තුන්දෙනාම යනව ඔන්න.
මෙන්න ටික දුරක් යනකොට අයියල, නංගිල, මාමල, නැන්දල, දූල, පුතාල ටික ටික වැඩිවුනා. අපි වාඩිවෙල හිටපු තැනත් අර හැමදාම යන අයගෙ තැනක්ද කොහෙද. කස්ටිය හෝ ගාල අපිට රවනව. අපිත් ඉතින් අපි නෙවි වගේ යනව. ඇයි දෙයියනේ මේක පුදුම රටක්නෙ. අපිට වාඩිවෙල යන්න නරකද. හැමදාම යන අය විතරද වාඩිවෙලා යන්න ඕන? හැබැයි මම මෙතනදි විශේෂ දෙයක් දැක්ක. ඒක තමයි පිරිමින්ට වැඩිය ගෑණු තමයි රවන්නෙ. බේරෙන්න බැරි එයාලගෙන්. අර කොල්ලො කොහොමත් හිටගෙන යන්නෙ. මොකද මගින් නගින, නගින කෙල්ලට උන් ඉඩ දෙන්න ඕනනෙ... හිකිස්...
අනේ අරුන් දෙන්නම මගින් බැස්සට පස්සෙ මම තනි වුනා. මගෙ යාළුව රාගමින් බැස්සම එතන වාඩිවුනා නංගිල දෙන්නෙක්. බැස්සෙ එකෙක් වුනාට වාඩිවුනා දෙන්නෙක්. අනේ මගෙ යාළුව එච්චර මහත එහෙම නෑ. ඒ වුනාට නංගිල අපූරුවට වාඩිවුනා. එක්කෙනෙක් හොඳට පිටිපස්සට හේත්තු වෙලා වාඩිවුනා. ඒත් අනිත් එක්කෙනාට ඉඩ මදි නිසා සීට් එකේ භාගෙට තමයි වාඩි වුනේ. ඔන්න ඉතින් යනව. ටිකකින් මට තේරුනා භාගෙට වාඩිවෙලා උන්නු නංගි ටික ටික දඟලනව වගේ. ඔන්න එතකොට තමයි මට තේරුනේ වැඩේ. නංගිය  හිමීට දේශ සීමා ආක්‍රමණය කරනව. අන්තිමට කැලණිය දිහාට එනකොට මොකක්ද දන්නවද තත්වෙ? නංගිල දෙන්න හොඳට හේත්තු වෙලා නිදි. මේ අයිය තඩි බෑග් එකත් ඔඩොක්කුවෙ තියාගෙන භාගෙට වාඩිවෙලා. බැරිම තැන අයිය නැගිටල දොර ළඟට ගියා. කොටුවට යනකම්ම හිටගෙන තමයි ඉතින්... අනේ දුක්කේ සංසාරේ. මින් පස්සෙනම් කළින් වෙන් කළ ආසන වල වාඩි වෙන්නෙ නෑ මේ අයිය. ඕං කිව්ව...